පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණයෙන් විනාශ වූ දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මාස තුනකට අධික කාලයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන් වැඩිම හානිය සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට බවත් රඹුක්කන සිට බදුල්ල දක්වා මාර්ගයට දැඩි හානි සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙය සුනාමියෙන් වූ හානියට වඩා වැඩි හානියක් බවත් හානි වූ ස්ථාන බොහොමයකට ළඟාවීමට නොහැකි තරම් පස් කඳු කඩා වැටී ඇති බවත් එම නිලධාරියා කීවේය.
මේ අතර දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ උද්ගත වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ - බදුල්ල දුම්රිය ධාවනය මෙන්ම ප්‍රධාන මාර්ගයේ මහනුවර දක්වා ධාවනය ද අඩාළවන බවයි.
දුම්රිය මාර්ගයට සිදුව ඇති හානිය මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැති බවද වාර්තා වන අන්දමට විසල් හානියක් සිදුව ඇති බවද කී ගමනාගමන අධිකාරිවරයා ඉදිරි සතියේදී මෙම ස්ථාන නිශ්චිතව හඳුනාගත හැකි බවද අලාභය කොපමණ දැයි තවමත් කිව නොහැකි බවද වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments