Ticker

6/recent/ticker-posts

මන්නාරමේදී කෝටි 3000කට විකුණන්න ගිය, විදෙස් රජවරුන් පවා සෙවූ රාවණා ගලේ සැඟවුණු රහස...


ශ්‍රී රාවණ රජු විසින් ශක්තිය කැවූ ගලක් ලෙස සමහරුන් ප්‍රබල ලෙස විශ්වාස කරන්නා වූ අමුතුම ආකාරයේ පාෂාණයක් පසුගියදා ඉන්දියානු ජාතිකයකුට විකිණීමට යද්දී පොලිසියට හසු විය. 


මේ වන විට පොලිසිය භාරයේ පවතින එම පාෂාණය සහ ඒ සමඟ අත්අඩංගුවට පත් වූ පිරිස සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදු වෙමින් පවතී. ඒ අතරතුර ගුප්තමය බලයක් ඇති බව කියන රාවණා ගල නමින් හැඳින්වෙන මෙකී පාෂාණය පිළිබඳ ජනතා කුතුහලය වර්ධනය වෙමින් පවතී.

රාවණා ගල අත්අඩංගුවට ගැනීමෙන් පසුව බොහෝ දෙනා ඒ පිළිබඳව අප වෙතින් විමසන අතර ඒ හා සමානවම අප වෙත අදහාගත නොහැකි අන්දමේ තොරතුරු සමූහයක් ලැබෙමින් පවතී. පාඨක ඔබේ කුතුහලය සංසිඳවීමේ බලාපොරොත්තුවෙන් අප වෙත ඇති තොරතුරු මෙසේ අකුරු කරන්නෙමු.

ශ්‍රී රාවණ රජු මහා බලවත් සක්විති රජකු ලෙස දේශ දේශාන්තරවල පවා ප්‍රකට උත්තමයකු බව කිවයුතු නොවේ. නැවත ලංකාද්වීපයේ පහළ වීමේ බලාපොරොත්තුවෙන් සහ එසේ පහළ වූ විටෙක නැවත එකතු කර ගැනීම සඳහා උන්වහන්සේ තම ශක්තිය විවිධ වස්තූන්ට කවා ඇති බව ප්‍රබල රාවණවාදියකු වරක් පැවැසූ කතාවක් මෙම ආන්දෝලනාත්මක රාවණා ගලේ කතාව සමඟ මතකයට ඒම කිසිසේවත් වැළැක්විය නොහැකි වී තිබේ. එම කතාව ප්‍රස්තුතයෙන් බැහැර එකක් සේ සලකා රාවණ ගල සමඟ පිරිසක් අත්අඩංගුවට පත්වීම සිදුවූයේ කෙලෙසද යන්න පළමුව විමසා බලමු.

ඉකුත් 20 වැනිදා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන  කාර්යාංශයට ලැබුණු තොරතුරකින් කියැවුණේ අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ නිවෙසක නිධානයක් සම්බන්ධයෙන් ගනුදෙනුවක් කිරීමට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ඒ අනුව මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් රංජිත් මහතාට කරුණු සැලකර ඔහුගේ උපදෙස් ඇතිව පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස, කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචන ජයකොඩි යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මෙම අනීතික ගනුදෙනුවේ යෙදෙන කණ්ඩායම වැටලීමට පිටත් වූහ. මෙම වැටලීමට පොලිස් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින්ද යුත් පොලිස්  නිලධාරීහු සහභාගී වූහ.

මෙම වැටලීමේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ මතකයටද වාලම්පුරි  චිත්‍රපටයේ ජවනිකා සිහිපත් වූවාට සැකයක් නැත. පොලිස් නිලධාරීන් රැගත් ජීප් රිය අදාළ ස්ථානයට ළඟා වෙද්දී සියලුම නිලධාරීන් පසුවූයේ බලවත් විමසිල්ලෙනි. පොලිස් රිය වත්තට ඇතුළු කරනවාත් සමඟම නිවෙසේ සිටි කිහිපදෙනකු නවතා තිබූ කාරයට නැඟ ගත්හ. වත්තෙන් පිටවීමට තැත් දැරූ කාරයේ මඟ හරස් කොට පොලිස් ජීප් රිය නතර කෙරිණි. කාරයේ සිටි පිරිසට යටත් වීමට සිදුවිය.

පිටව යෑමට සැරසුණු කාරයේ හය දෙනෙක් වූහ. ඒ ඉදිරි අසුන් දෙකේ දෙදෙනකු සහ පසුපස හතර දෙනකු වශයෙනි. ඔත්තුවෙන් කියවුණු සාකච්ඡාවේ සිටි පිරිස කාරයේ නැඟී පිටත් වීමට ලැහැස්ති වූ බවට පොලිසියට ඉව වැටිණි.

“කොහෙද යන්නේ?” ඇසූ විට ඔවුන් කියා සිටියේ ගමනක් යන බවයි. එවිට නිධානයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ඔවුන්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කියූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ ඇඳුම්, සාක්කු, බෑග් ආදිය පරීක්ෂා කරන්නට වූහ. පිරිස අතර කොට කලිසමක් හැඳි පුද්ගලයකුද විය. ඔහුගේ සාක්කුවේ තිබුණේ ගලකි. එය අප මේ කතා කරන රාවණා ගලයි.

ගල අතට ගත් නිලධාරියකු “මොකක්ද මේ ගල” යැයි විමසීය. ඔහු කීවේ මගේ ආරක්ෂාවට තියන් ඉන්න ගලක්. මේකේ වාසනාව තියෙනවා. ඒ නිසා යන යන තැන ගෙනියනවා යනුවෙනි. ඔහු පුල්මුඩේ හි පදිංචි වයස 48ක අයකි. ඔහු මේ ගනුදෙනුවට සම්බන්ධ බව කියන පූසාරි ලෙස පසුව හඳුනාගෙන තිබේ.

පසුව එකිනෙකා තැන් තැන්වල රඳවා ඔවුන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේය. ගල සම්බන්ධ රහස අනාවරණය වූයේ එසේය.

පිරිසේ සිටි ඉන්දීය ජාතිකයා පළමුව කිව්වේ අමුතුම කතාවකි. “මං මෙහේ සුළං බලාගාරයක් හදන්නයි යන්නේ. මේ කට්ටියත් එක්ක ඒකට ඉඩමක් හොයන්න යනවා “ යැයි ඔහු මුලින් පැවැසීය. දවස් දෙකක් විතර මෙහි නතර වෙලා ඉන්නේ යැයිද ඔහු කීය. මෙහේ ආවේ කා සමඟදැයි ඇසූ විට කොළඹ ව්‍යාපාරිකයකු සමඟ ආ බව පැවැසීය.

මෙම පිරිස සාකච්ඡාවට යොදා ගත් නිවෙස මුදල් දී ලබා ගත්තකි. එම නිවෙසේ හිමිකරු කෝටි එකහාමාරක පමණ ණය බරින් ජීවත් වන්නකි. එහෙයින් ඔහුටද මුදලින් උදවු කිරීමේ පොරොන්දුව මත නිවෙස මෙම කටයුත්තට යොදවාගෙන ඇත.  ඊට මැදිහත් වී ඇත්තේ පූසාරිය.

මීට සම්බන්ධ බව කියන කොළඹ ව්‍යාපාරිකයාද මේ වන විට මුදල් අතින් නන්නත්තාර වී ඇති අයකු බව හෙළිදරවු වී ඇත. මුලදී එම ව්‍යාපාරිකයා නැව් සමාගම් සමඟ පවා කටයුතු කළ අයකු වූවද මේ වන විට ඔහුගේ ව්‍යාපාර බිඳ වැටී ඇත. මෙම ගල අලවියට ඔහුද සම්බන්ධ වී ඇත්තේ ගොඩ යෑමටය.

මෙසේ අපගේ භූමියට අයත් වස්තුවක් වූ රාවණ ගල විකුණා ගොඩ යෑමට දැඟලූ අට දෙනකු එම ස්ථානයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

පසුව ඔවුන්ගේ දුරකථන පරීක්ෂා කිරීමේදී තවත් බොහෝ තොරතුරු හෙළිදරව් වී ඇත. ඉන්දීය ජාතිකයා වෙනත් කෙනකුගේ නියෝජිතයකු ලෙස එම තැනැත්තා වෙනුවෙන් මෙම ගනුදෙනුවට සහභාගී වී ඇති බව පැහැදිලි වන තොරතුරුද ලැබී ඇත. ඔහු නිතර ඉන්දියාවේ පාර්ශ්ව කිහිපයක් සමඟ රාවණ ගල සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කොට ගෙන තිබේ.

පූසාරිගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පූසාරි කියා ඇත්තේ මෙය ඉතා බලගතු ගලක් බවයි. මෙය ශ්‍රී ලංකා රුපියල් කෝටි 3,000ක් වටිනා බවද ඔහු කියා ඇත. ඉන්දීය ජාතිකයා මෙම ගල රු. කෝටි 500කට මිලදී ගැනීමට පොරොන්දු වී ඇති බවද පූසාරිවරයා අවසානයේදී අනාවරණය කර ඇත. මෙම ගනුදෙනුවට අදාළ මුදල් සියල්ල අන්තර්ජාලය හරහා සිදු කිරීමට ඔවුන් අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ඉන්දීය ජාතිකයා මෙම ගනුදෙනුවේදී තමා බ්‍රෝකර්වරයකු පමණක් බවද ඉන්දියාවේ වෙනත් ගැනුම්කරුවකු සිටින බවද කියා ඇත. නමුත් ඔහු එම ගැනුම්කරුගේ නම හෙළිදරව් කර නැත.

පොලිසිය සැකකරුවන් අට දෙනාම මන්නාරම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. අධිකරණයේ නියෝගය මත මේ වන විට පොලිස් භාරයට පත්වූ වටිනා පාෂාණය විශේෂ ආරක්ෂාව සහිතව මන්නාරම පොලිසියේ සේප්පුවේ තැන්පත් කර ඇත. පාෂාණයේ වටිනාකම ගැන සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානයට පැමිණ එය පරීක්ෂා කර බලා වාර්තාවක් ලබාදෙන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එසේම ඉන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවක් ලබා ගන්නා ලෙසද නියෝග කර තිබේ.

අත්අඩංගුවට පත් වූවන් කියන්නේ මෙම ගල පූජා පැවැත්විය යුතු ගලක් බවයි. මෙම ගල ක්‍රියාත්මක වන්නේ හිරු මුදුන්වන විට බවත් ඔවුන් කියා ඇත. පූජා තබා නියමිත ශ්ලෝක සජ්ජායනය කළ යුතු බව පූසාරිවරයා හෙළි කර තිබේ. එහෙයින් පොලිසියේ සේප්පුවේ තිබියදී මෙම බලගතු ගලෙන් කිසිදු ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තු විය නොහැකි බව පෙනේ.
දැන ගැනීමට ඇති ආකාරයට මෙම බලගතු පාෂාණය පාන්නාවූ ප්‍රාතිහාර්යයන් කිහිපයක්ම සැකකරුවන්ගේ ජංගම දුරකථනවල තිබූ වීඩියෝ පටවලින් දැක ගැනීමට පොලිසියට ද හැකි වී ඇත.

රාවණා ගල නමින් හැඳින්වෙන මෙම පාෂාණයේ බලගතු භාවය පිළිබඳව මීට පෙරද අසා කන් අදහාගත නොහැකිව සිටි අපටද දැන් අපගේ කන් මෙන්ම ඇස් ද අදහා ගත නොහැකිය. ප්‍රාතිහාර්යයන් ගැන කීමට පෙර මෙම වටිනා පාෂාණයේ හැඩ රුව සහ පෙනුම ගැන විස්තරයක් ඔබට කිව යුතුය.

මේ සමඟ පළ වන ඡායාරූප  අනුවද ඔබට පෙනෙන පරිදි මෙම ගල “කුරු පොල් ගෙඩියක්” තරම් මඳක් විශාල ප්‍රමාණයේ එකකි. එක් අතකින් ගත හැකිය. එය ඕවලාකර හැඩයකින් යුක්තය. පළල් කෙළවරක් ද උල් වූ කෙළවරක් ද සහිතය. උල් කෙළවර පියනක් සේද සැලකිය හැක්කේ මඳක් පහළින් ඇලවූ ස්වභාවයක් පෙන්වන මැලියම් දාරයක් පාෂාණය වටා යන බැවිනි. පාෂාණය වටා සංකේත ලෙස හැඳින්විය හැකි ගුප්තමය රූප කිහිපයකි. එක් පැත්තක පමණක් අඬු තිබෙන ගෝනුස්සකු බඳු රුවක් වෙයි. අනෙක් පැත්තේ නැට්ට සහිත නෙළුම් පොහොට්ටුවකට මඳක් හුරු කැටයමකි.

පොලිසිය නිකුත් කළ ඡායාරූප මඟින් ග්‍රැනයිට් ගල් වර්ගයක දක්නට ඇති සුදු අංශු මිශ්‍රවූ අළු පැහැයක් දැකිය හැකිය. එහෙත් මෙම වටිනා පාෂාණය අත්අඩංගුවට පත් වීමට පෙර අපට දකින්නට ලැබී ඇති පාෂාණයේ ඡායාරූපය තද නිල් පැහැයකින් යුතුවූ බව මතකය.

මෙම බලවත් පාෂාණය අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තිය පළ වීමත් සමඟ මේ ගැන උනන්දු වන නොයෙකුත් පාර්ශ්වයන් කතා කර තොරතුරු කියන්නට විය. එවැනි එක් පාර්ශ්වයක් නිර්නාමිකව ඉදිරිපත් වෙමින් කියා සිටියේ පොලිසිය අතට පත්ව ඇත්තේ නියම බල ගල නොවන බවයි. ඔවුන් කියා සිටියේ මෙම පාෂාණය විකිණීමේ කොන්ත්‍රාත්තුවට මැදිහත් වී සිටින බලවත් ව්‍යාපාරිකයකු නියම ගල වෙනුවට ඩමියක් නිර්මාණය කර තිබූ බවත් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ඩමිය බවත්ය. 

පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ව්‍යාජ පාෂාණයක් නම් එයට කිසිසේවත් ප්‍රාතිහාර්යයන් දැක්වීමට නොහැකි බව ඔවුහු කියා සිටිති. 

නියම පාෂාණය රාවණා ගල ලෙස හඳුන්වමින් ඉහළ මිලකට අලෙවි කිරීමට යොදා ගන්නේද එය දක්වන මෙකී ප්‍රාතිහාර්යයන්ය. මෙම ගලට 21 ආකාරයකට ක්‍රියා කළ හැකි බව තතු දන්නා වෙනත් අයකු කියයි.

කෙසේ වූවද අප කල් තබා දැන සිටි තොරතුරු මෙන්ම සැකකරුන්වන් සතුව තිබූ වීඩියෝ පටවලින්ද හෙළිවන ආකාරයට මෙම ගල පණ ඇති එකකි. එයට මිනිසකු අත නොතබා චලනය වීමේ හැකියාව ඇත.

මෙම ගල මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියේ තැබූ විට කණ්නාඩිය තුළින් එය නොපෙනේ. එසේම පූජා පවත්වා සුදු පිරුවටයක් උඩ තබා රන් ආභරණයක් සමීප කළ විට ස්වයං සිද්ධ ලෙස චලනය වෙයි.

කෙනකු කී පරිදි විදුලි එළිය සහිත තැනකදී ඉහළට එසවූ විට විදුලිය විසන්ධි වෙයි. වතුර වීදුරුවකට දැමූ විට වතුර නටයි. කිරි බඳුනකට දැමූ විට කිරි නටා උතුරා යයි. සේප්පුවකට දැමූ විට සේප්පුවේ අඟුළු පද්ධතියේ අක්‍රමිකතා ඇතිවෙයි.

නියම ගල මේ වන විටත් ඉතා ආරක්ෂිතව සේප්පුවක පවතින බවටද තොරතුරු හෙළිවෙමින් පවතී.

මෙම බලගතු පාෂාණය පිළිබඳව පවතින අපූර්ව තොරතුරු අතර ඇත්තේ අප මවිත කරන ප්‍රාතිහාර්යයන් පමණක් නොවේ. බිය කරන තොරතුරුද ඇතුළත්ය. මෙය ළඟ තබා ගන්නා අයට, එම තැනැත්තාගේ නිවෙසට , පවුලේ අයට තදබල කරදරවලට මුහුණ පෑමට සිදුවෙයි. අනපේක්ෂිත ඝාතනයන්ට හෝ අනතුරුවලට ලක්වෙයි. ව්‍යාපාර කටයුතු බිඳ වැටෙයි. රෝගාබාධයන්ට ලක් වෙයි. සිහි විකල් තත්ත්වයන්, එදිනෙදා කටයුතු කර ගැනීමට නොහැකි වීම් ගැන මැසිවිලි නැඟෙයි. අනවශ්‍ය කරදර සහ මිනීමැරුම්වලට පටලැවෙයි. එනිසා මෙය එතරම් සුන්දර වස්තුවක්ද නොවේ. 

මෙම ගලට බලගතු ආත්මයක් බඳවා  ඇති හෙයින් මෙම සිදුවීම් වන බවටද කතාවක් වෙයි.

මෙය ළඟ තබා ගැනීමේදී මතුවන කරදර නිසා අඩු මුදලකට හෝ යමෙකුට විකුණා ගැනීමටද එය සන්තකයේ තබා ගෙන සිටින පාර්ශ්වයන් කටයුතු කරන බව කියැවෙයි.

හෙළිදරව් වන තොරතුරු අනුව මෙය මුලින්ම හිමිව තිබී ඇත්තේ හපුතලේ පදිංචි යමක් කමක් ඇති ද්‍රවිඩ පවුලකටය. ශ්‍රී ලංකාවෙන් වරෙක කේරළයටද ගිය මෙය නැවත මෙරටට පැමිණ තිබේ. පසුව එම පවුලට තිබූ කරදර දුරු කර ගැනීමට විකිණීමේ අදහස ඇති වී ඇත. විකුණා ගැනීමද දුෂ්කර වූ අවස්ථාවේ කොළඹ ව්‍යාපාරිකයා පැටළුණු බව කියැවෙයි.

වරෙක අප්‍රිකානු රටක රජ කෙනෙකුද මෙය ගැනීමට ඉදිරිපත්ව ඇත. කෝටි ගණනක මුදල් හුවමාරුවක්ද වීමෙන් පසු ගනුදෙනුව ඇන හිට ඇත. මෙම බලගතු පාෂාණය ගුවනින් ගෙන යෑම පිළිබඳවද බියක් මතුවී තිබේ. එසේ තැත් කළහොත් ගුවන් යානය පිළිස්සී බිම පතිත වනු ඇතැයි යන විශ්වාසය ඊට හේතු වෙයි. එසේම දැන් මෙම පාෂාණය ලිහා ගැනීමට නොහැකි ගනුදෙනු රැසක පැටලී ඇත.

මේ පිළිබඳ සොයන අධ්‍යාත්මවේදී කණ්ඩායම්ක්ද වෙයි. මේ ගැන අවධානයෙන් සිටින තවත් පාර්ශ්ව ගණනාවකි. මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද මේ පිටුපස වැටී ඇති බවට රාවයන් පවතී. මෙම බලැති ගලේ අයිතිය ලබා ගැනීමෙන් තම බලය වැඩිකර ගත හැකි බවට විශ්වාසයක් පැවැතීම ඊට හේතුවයි.

තවත් මේ ගැන ඈඳුණු කතා බොහෝය. බුදුන්වහන්සේද, මක්කමද, ඉන්දියාවද  ඈඳුණු කතා මෙම ගුප්තමය ගලට වෙයි. පසුගිය වර ඉන්දීය අගමැති මෝදි මෙරට සංචාරයක නිරතවන අතරේ වැලිමඩ රාම – සීතා කෝවිලට ගියේ මෙය සොයා බවටද කතාවක් වෙයි.

කෙසේ නමුත් මෙය තබා ගත හැක්කේ බලවන්තකයකුටම පමණක් බවද කියැවෙයි. එම කතා පසු අවස්ථාවක ඔබ හමුවේ තබන අදහස ඇතිව අරුම පුදුම හාස්කම් සහිත ගුප්තමය පාෂාණයේ කතාවට විරාමයක් තබන්නේ වෙන්ව ඇති ඉඩ කඩ ගැන සැලකිලිමත් වෙමිනි. එතෙක් බලගතු පාෂාණයට තමා හිමි විය යුතු බලවන්තයා සොයා යෑමට අවස්ථාව වෙයි.

 

Post a Comment

0 Comments