ඒටීඑම් යන්ත්‍ර මගින් මුදල් ගැනීම දුෂ්කර තාක්ෂණ කාර්යයක් ලෙස ඇතැම් වැඩිහිටියන් සලකා තිබීමත් ඒ නිසා මුදල් ගන්න අවස්ථාවල අන් අයගෙන් උදව් ඉල්ලා සිටිමත් නිසා ඇතැම් වංචාකරුවන්ට කාඩ් වංචා කිරීමේ අවස්ථා උදාවී ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් ඒ.ටී.එම්. යන්ත්‍ර අසල ගැවසෙන පුද්ගලයින් ගොදුරු කරගන්නා බවට සැකකෙරෙන වංචාකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය පතයි. මෑතකදී කළුතර දකුණ පොලිස් වසමේදී පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතක් උපක්‍රමශීලීව මාරු කර රුපියල් ලක්ෂ දෙකක මුදල් වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් 2025 අගෝස්තු මස 19 වන දින කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇත. පැමිණිලිකරු කළුතර නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අදාළ සැකකරු ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වී තිබේ. එහිදී විශ්වාසය දිනා ගනිමින් රහස් අංකය ලබාගෙන ඇති සැකකරු, ඉතා සූක්ෂම ලෙස එම කාඩ්පත වෙනත් කාඩ්පතක් සමඟ මාරු කර එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. පසුව වංචාකරු විසින් සැබෑ කාඩ්පත භාවිත කර රුපියල් 200,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී, කළුතර දකුණ සහ වාද්දුව යන පොලිස් වසම් තුළ මීට පෙර වාර්තා වූ සමාන වංචනික සිදුවීම් හතරක් සමඟ මොහුගේ සබඳතාවක් ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත. මොහු දිවයින පුරා සංචාරය කරමින් ඒ.ටී.එම්. යන්ත්‍ර භාවිතා කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු බවට පොලිසිය සැක පළ කරයි.
සැකකරු හඳුනා ගැනීම පහසු කිරීම සඳහා අදාළ බැංකු පරිශ්‍රයේ සී.සී.ටී.වී දර්ශන ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
තවදුරටත් මෙවැනි වංචාවන් සිදුවීම වැළැක්වීම සඳහා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සහය වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත වහාම දැනුම් දිය හැකිය.
කළුතර දකුණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක: 071 – 8591691 කළුතර දකුණ අපරාධ අංශයේ ස්ථානාධිපති: 071 – 8594360

0 Comments