නේපාලයේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන විත් දින 90ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන විමර්ශන පවත්වන නන්ද කුමාර් තක්ෂි නමැති කාන්තාව සමඟ සම්බන්ධයක් ගොඩනඟාගෙන සිරමැදිරියේ සිටි ඇයට බිස්කට් කවමින් පෙම් රැඟුම් පෑ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවයේ නිරත සැරයන්වරයකු වන මෙම නිලධාරියාගේ වැඩ තහනම්කර ඇත්තේ පෙරේදා (15) සිට ක්‍රියාත්මක වන ලෙසිනි.
බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු පිරිසක් නේපාලයට ගොස් එරට පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ල සංජීව නමැති පාතාලයේ අපරාධකරුට වෙඩි තබා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සමඟ අල්ලාගෙන ආ සැකකරුවන් අතර තක්ෂි නමැති කාන්තාව ද සිටියාය.
ඉෂාරා සෙව්වන්දි සහ තක්ෂි යන සැකකාරියන් රඳවා සිටින්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේය. ඔවුන් දෙදෙනා රඳවා ඇත්තේ එකම සිරමැදිරියකය. එම සිරමැදිරිය ඇති ස්ථානයට රාජකාරියේ නිරත නොවන නිලධාරීන්ට ගැවසීම පවා තහනම් කර තිබී ඇත.
එහෙත් එම තහනම නොතකා සැරයන්වරයෙක් සිරමැදිරිය අසල අසාමාන්‍ය ලෙස ගැවසෙන බවට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ බලධාරීන්ට දැනගන්නට ලැබි ඇත. ඒ අනුව අංක 03 සිරමැදිරිය පිහිටි ස්ථානය ආවරණය වන ලෙස සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ සැකකාර සැරයන්වරයා එම සිරමැදිරියේ රඳවා සිටින තක්ෂි නමැති සැකකාරිය සමඟ සම්බන්ධකමක් ගොඩනඟාගෙන ඇති බවය.
සති දෙකක කාලයක් තිස්සේ ඔහු ඇය කෙරෙහි විශේෂ ඇල්මක් දක්වමින් කටයුතු කරන බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේ දී පෙනී ගොස් ඇත. නොවැම්බර් 30 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 6.00 දක්වා රාත්‍රී උප සේවා රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයා සිරමැදිරියේ සිටි තක්ෂි නමැති සැකකාරියට බිස්කට් ලබා දී ඇති බවත් ඇය විසින් අඩක් කා ලබාදුන් බිස්කට් සැරයන්වරයා ආහාරයට ගන්නා ආකාරයත් කැමරාවල පැහැදිලිවම සටහන්වී තිබී ඇත.
අවස්ථා කිහිපයකදීම ඔහු එම සිරමැදිරිය අසලට යන බව මෙන්ම දෙදෙනා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගන්නා අයුරුත් කැමරා පරීක්ෂාවේ දී අනාවරණය වී තිබේ.
ඒ අනුව සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

0 Comments