Ticker

6/recent/ticker-posts

රන් මුදුවට බොරු මුදුවක්.. තලවකැලේ ප්‍රදේශයෙන් ඇසෙන ඇස් මවිතවෙන ඒ කතාව මෙන්න..


 මේ කාලේ රත්‍රං මොන තරම් වටිනවාද කියලා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. 

එහෙම රන් මිල අහස උසට යද්දී මේ ඇසෙන්නේ සූක්ෂම විදිහට රත්‍රං මුදුවක් සොරාගත් පුද්ගලයෙක් ගැන කතාවක්. මේ කතාව ඇසෙන්නේ තලවකැලේ පැත්තෙන්.

තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පාරිභෝගිකයෙකු ලෙස පැමිණ, රන් මුදුවක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 50,000ක් වටිනා නියම රන් මුදුවක් සොරාගෙන ඒ වෙනුවට රන් ආලේපිත පිත්තල මුදුවක් තබා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තලවකැලේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (24) දින මෙම සොරකම සිදුව ඇති අතර, සැකකරු වෙළෙඳසැලට පැමිණ තමන්ට කුඩා ප්‍රමාණයේ රන් මුදුවක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර, එහිදී සේවකයින් පෙන්වූ මුදු කිහිපයක් පරීක්ෂා කරන අතරතුර, සැකකරු තම දකුණු අතේ සඟවාගෙන පැමිණි රන් ආලේපිත පිත්තල මුදුවක් ඉතා සූක්ෂ්ම ලෙස නියම රන් මුදු ගොඩට මුසු කර ඇති බවට සී සී ටී වී දර්ශනවලින් පැහැදිලි වන බව පොලිසිය පවසනවා.

අනතුරුව මෙම පුද්ගලයා තමන්ට ගැළපෙන මුදුවක් එහි නොමැති බව පවසා වෙළෙඳසැලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු පිටව ගිය පසු වෙළෙඳසැල් සේවකයින් විසින් රන් මුදු තොගය නැවත පරීක්ෂා කිරීමේදී, ඒ අතර තිබූ රන් ආලේපිත පිත්තල මුදුවක් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පසුව වෙළෙඳසැල් හිමිකරු විසින් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පරීක්ෂා කිරීමේදී, සැකකරු විසින් සිදුකළ මෙම සූක්ෂ්ම මාරු කිරීම පැහැදිලිවම අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද පෙලිසිය පවසනවා.

ඒ අනුව,එම ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

 

Post a Comment

0 Comments