Ticker

6/recent/ticker-posts

ලොවක් දිනූ "විශිෂ්ටතම පරාජිතයා" කරුණානන්ද, තවමත් ජපානයේ ජීවමානයි.. ඔහු ගැන ඇසෙන ඒ විශේෂ කතාව මෙන්න..


සමහර චරිත අපේ හිත්වල ලැගුම් ගන්නේ සදාකාලිකවයි. 

ජයග්‍රහණය හඹා යන ලෝකයක, පරාජය වෙමිනුත් මුළු මහත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අපූර්ව ක්‍රීඩකයෙකු ලෙස රණතුංග කරුණානන්ද ඉතිහාසයට එක්වුණේ මීට කලකට ඉහතදීයි. ඔහු ගැන දශක ගණනකට පසුවත් අද නැවත කතා වෙනවා. මේ අන්න ඒක ගැන හරි ආදරණීය සටහනක්..

ටෝකියෝහි 1964 දී පැවති ඔලිම්පික් උළෙලේදී අවසන් ස්ථානයට පත්වුවද, අමතක නොවන අධිෂ්ඨානයකින් යුතුව තරගය නිමා කළ ශ්‍රී ලාංකික ධාවන ශූර රණතුංග කරුණානන්දගේ අභිමානවත් කථා පුවත තවමත් ජපානයේ පාසල් පෙළපොත්වල උගන්වන බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා පවසා තිබෙනවා.

කොළඹ පැවති උත්සවයකදී අදහස් දක්වමින් තානාපති අකියෝ ඉසොමාටා (Akio Isomata) සඳහන් කර ඇත්තේ, කරුණානන්දගේ එම ධෛර්යවන්ත කතාව නොසැලෙන උත්සාහය පිළිබඳ පණිවුඩය අනාගත පරපුරට ලබා දෙමින් අදටත් ජපාන පාසල් පෙළපොත්වල කොටසක් ලෙස පවතින බවයි.

1970 දශකයේදී ජපාන ප්‍රාථමික පාසල් පෙළපොත්වල බහුලව දක්නට ලැබුණු මෙම කථා පුවත, මෑතකදී ජපාන උසස් පාසල් ඉංග්‍රීසි භාෂා පෙළපොත් සඳහා ද ඇතුළත් කර ඇති බව තානාපතිවරයා පැවසුවා.

"කරුණානන්ද තවමත් ජපානයේ දුවමින් සිටිනවා," යනුවෙන් පැවසූ ඔහු, මෙම කතාව ජපන් සිසුන් සහ ගුරුවරුන් අතර අදටත් කතාබහට ලක්වන බව සඳහන් කළා.

1964 වසරේදී ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 10,000 තරගයේදී 67 දරන අංකය පැළඳ තරග වැදුණු කරුණානන්ද, ප්‍රමුඛ පෙළේ ධාවකයන්ට වඩා වට තුනක් පසුපසින් සිටියද, ක්‍රීඩාංගණයේ සිටි 70,000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසකගේ හදවත් දිනාගත් ආකාරය තානාපතිවරයා එහිදී සිහිපත් කර තිබෙනවා.

අනෙක් සියලු දෙනා තරගය නිමා කළ පසු ඔහු තනිවම දිව යන විට, මුලින් සිනාසුණු ප්‍රේක්ෂකයින් පසුව ඔහු කෙරෙහි ගෞරවයෙන් සහ හැඟීම්බරව ඔල්වරසන් දෙන්නට වූ අතර, ඔහු අවසන් රේඛාව පසු කරන විට සියලු දෙනා අසුන්වලින් නැගී සිට ඔහුට ගෞරවය පුද කළා.

දරුණු සෙම්ප්‍රතිශ්‍යාවකින් පීඩා විඳිමින් සිටියද, තම මව්බිම ආඩම්බරයෙන් නියෝජනය කිරීමේ අරමුණින් පසුපසින් සිටියද තරගය නතර කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබූ අතර, තරගය නිමා කිරීමට ඔහු තුළ තිබූ නොසැලෙන කැපවීම ප්‍රේක්ෂකයින් වටහා ගත් විට, මුළු ක්‍රීඩාංගණයම ඔහුට සහය පළ කර තිබෙනවා.

තරගයෙන් පසු ඔහු පැවසූ දේ තානාපතිවරයා මෙසේ සඳහන් කළා,

"මේ සතියේ මට දරුණු සෙම්ප්‍රතිශ්‍යාවක් වැළඳී තිබුණා, නමුත් මාව තෝරාගත්තේ මගේ රට වෙනුවෙන් දුවන්නයි. ඒ නිසා මගේ එකම අරමුණ වුණේ තරගය සම්පූර්ණයෙන් නිම කිරීමයි. මම කළේ ඒකයි. ඒ ගැන මම සතුටු වෙනවා."

කවදා හෝ දිනක තම දියණියට, "දුවේ, ඔයාගේ තාත්තා ඒ තරගය දිනුවේ නැහැ, නමුත් කවදාවත් උත්සාහය අත්හැරියේ නැහැ" යනුවෙන් පැවසීමට තමන් කැමති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.
පසුදා ජපන් පුවත්පත්, "ජයග්‍රාහකයාට සුබ පැතුම්, අවසානයට පැමිණි ධාවකයාට ගෞරවය" වැනි සිරස්තල ඔස්සේ ඔහුට උපහාර පුද කළ බව තානාපතිවරයා පැවසුවා.

එම උත්සව අවස්ථාවට තවත් වටිනාකමක් එක් කරමින්, ඔහුගේ පුත්‍රයා සහ මුණුබුරා ද එම උත්සවයට පැමිණ සිටින බව තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

"කරුණානන්ද තවමත් ජපානයේ දුවමින් සිටිනවා. අද දින... කරුණානන්ද මහතාගේ පුත්‍රයා සහ මුණුබුරා මෙම උත්සවයට පැමිණ සිටීම මට විශාල ගෞරවයක්. අපි ඔවුන්ට උණුසුම් අත්පොළසන් නාදයක් ලබා දෙමු." යනුවෙන් තානාපතිවරයා පවසුවා.


 

Post a Comment

0 Comments