එයාර් ඉන්ඩියා (Air India) සමාගමට තමන්ගේ මීටර් 30ක් දිග දැවැන්ත බෝයිං යානයක් අවුරුදු 13ක් තිස්සේ "අමතක වෙලා" තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
මේ කියන බෝයිං 737-200 වර්ගයේ, ටොන් 30ක් බරැති යානය හමුවෙලා තියෙන්නේ වෙන කොහේවත් නෙවෙයි, කොල්කටා ගුවන් තොටුපළේම කොනක නවතා තිබියදීයි. 2012 වසරේ ඉඳන් මේ යානය ගැන කිසිම තොරතුරක් එයාර් ඉන්ඩියා වාර්තාවල තිබිලා නැහැ.
යානය අවුරුදු 13ක් තිස්සේ ගුවන් තොටුපළේ ඉඩ අල්ලගෙන "පාක්" කරලා තිබුණු නිසා, දැන් එයාර් ඉන්ඩියා සමාගමට ඉන්දීය රුපියල් මිලියන 10ක දැවැන්ත දඩයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. කාර්ය මණ්ඩල මාරුවීම් සහ ලේඛන හරියට පවත්වාගෙන නොයෑම නිසා තමයි මේ වගේ වැඩක් වෙලා තියෙන්නේ.
අවුරුදු 43ක් පරණ මේ යානය මීට සති දෙකකට කලින් පාර මාර්ගයෙන් බැංගලෝරය වෙත ප්‍රවාහනය කරලා තියෙනවා. මින්පස්සේ මේක අහසේ පියාඹන්නේ නැහැ. ඒ වෙනුවට ගුවන් කාර්ය මණ්ඩලයේ ගොඩබිම් පුහුණු කටයුතු (Ground Training) සඳහා පාවිච්චි කරන්නයි තීරණය කරලා තියෙන්නේ.
කොල්කටා ගුවන් තොටුපළ කියන්නේ යානා අමතක වෙන තැනක්ද මන්දා? පසුගිය අවුරුදු 5 ඇතුළත මේ වගේ අතහැර දාලා තිබුණු යානා 14ක්ම ඉවත් කරලා තියෙනවා. දැනුත් අයිතිකාරයෙක් නැති ATR-72 වර්ගයේ යානා දෙකක් අවුරුදු 5ක ඉඳන් එතන මලකඩ කමින් තියෙනවලු.

0 Comments