Ticker

6/recent/ticker-posts

මේ තරම් විනාශයක් සිද්ධ වෙලාද..? ආපදාවට පත් පේරාදෙණිය සරසවිය ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..


 ලංකාවේ විශ්ව විද්‍යාල අතරින් කාගේත් ආකර්ශනය දිනාගත්ත සරසවියක් තමයි පේරාදෙණිය සරසවිය කියන්නේ. 

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ජල ගැලීම් වලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වලට යොදා ගන්නා වටිනා උපකරණ හා දේපොළවලට රුපියල් බිලියන 3-5 ත් අතර අලාභයක් සිදුව තිබෙන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසනවා.

පසුගිය 27 වැනි දින පස්වරුවේ සිට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ජලය එකතු වුණු බවත් කොත්මලේ වේල්ලේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එදින රාත්‍රි 11.00 පමණ විට විශාල ජල කඳක් පැමිණ පශු වෛද්‍ය පීඨය හා කළමනාකරණ පීඨය යටවූ බවයි උපකුලපතිවරයා පවසා සිටියේ.

අධ්‍යයන කටයුතු වලට මෙන්ම පර්යේෂණ සඳහා යොදා ගන්නා අති නවීන උපකරණ රැසකට හානි සිදුව තිබෙන බවත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ විනාශ වූ උපකරණ අතර තිබෙන සර්වස් දෙකක වෙළෙඳපොළ වටිනාකම පමණක් රුපියල් මිලිය 60 ඉක්මවන බවත් උපකුලපතිවරයා පැවසුවේ.

කාලගුණ දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සාමාන්‍ය දැනුම් දීම හැර කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ මහවැලි අධිකාරිය ජල ගැල්මක් සම්බන්ධයෙන් කිසිදු විශේෂ දැනුම් දීමක් නොකළ බවයි ඔහු පවසා සිටියේ.

අධික වර්ෂාවත් සමඟ පැය තුනක පමණ කාලයක් ඇතුළත විශ්වවිද්‍යාලයේ සැලකිය යුතු කොටසක් ජලයෙන් යටවූ බවත් මේ නිසා නේවාසිකාගාර දෙකක සිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගත් බවත් උපකුලපතිවරයා පවසා සිටියා.

විශ්වවිද්‍යාලයේ තිබූ ලීටර් 2000 ධාරිතාවකින් යුත් ප්ලාස්ටික් ජල ටැංකි 07 ක් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර
විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන ගණාවකට හානි සිදුව තිබෙන බවත් සම්පූර්ණ හානිය නිශ්චිතව මෙතෙක් ගණනය කර නොමැති බවත් මහාචාර්යවරයා පැවසුවා.

ආපදාව සිදුවන අවස්ථාවේ විශ්වවිද්‍යාලය තුළ සිසු සිසුවියන් 14000 ක් පමණ සිටි බවත් ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිතව නිවෙස් කරා යොමු කිරීමට හැකිවූ බවත් ඒ මාර්ග අවහිර වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් තවත් සිසුන් 300 ක පමණ පිරිසක් විශ්වවිද්‍යාලයේ රැඳී සිටින බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පවස සිටියේ.

 

Post a Comment

0 Comments