Ticker

6/recent/ticker-posts

"මරණයටත් පණ දෙන්න පුළුවන් බව කියාදුන් පුංචි හියුගෝ.." - ලොවක් මවිත කළ ආශ්චර්යයේ දරු උපත!


ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක් බවත්, මරණය පවා ආදරය හා මනුෂ්‍යත්වය හමුවේ පරාජය කළ හැකි බවත් ඔප්පු කළ සුවිශේෂී පුවත් වාර්තාවක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

ඒ, මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළින් බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දුටු පුවතයි.

මෙම ආශ්චර්යමත් දරුවාගේ මව 30 හැවිරිදි ග්‍රේස් බෙල්. උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළුණු ඇය, තමන්ට කිසිදා මව් පදවිය ලැබිය නොහැකි බව දැනගත් දින රෝහල් බිම වැටී හඬා වැටුණු අයුරු අදටත් ඉතා සංවේදීව සිහිපත් කරනවා.

නමුත් ඒ කඳුළු සතුටට හරවන්නට තවත් එක් ආදරණීය ජීවිතයක් නිවී යමින් ඇයට මඟ පෙන්වනු ඇතැයි ඇය එදා හීනෙකින්වත් සිතුවේ නැහැ.

මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ අකාලයේ මෙලොව හැර ගිය තරුණියක විසිනි.

එම පරිත්‍යාගශීලී තරුණියගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ද ඇය මරණින් පසුවත් දායක වී තිබෙනවා.

ඇය මෙලොව හැර ගියද, ඇය ලබා දුන් ඒ ගර්භාෂය තුළ මාස නවයක් තිස්සේ ආදරයෙන් වැඩුණු පුංචි හියුගෝ, අද ජීවිතයේ අරුත ලොවටම කියා දෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මගින් උපත ලැබූ පුංචි හියුගෝ පවෙල්, උපතේදී කිලෝග්‍රෑම් 3.1ක බරින් යුක්ත වුණා.

වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් ලෙස සැලකෙන මෙම උපත, මුළු මහත් බ්‍රිතාන්‍යයම ආදරයෙන් වැළඳගෙන තිබෙනවා.

මරණයෙන් පසුවත් තවත් ජීවිතයකට පණ දිය හැකි බව ඔප්පු කළ මෙම සංවේදී කතාව මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ නෙතට කඳුළක් එක් කර තිබෙනවා.

 

Post a Comment

0 Comments