මුළු රටම නත්තල් සිරියෙන් උදම් වෙලා හිටපු ඊයේ (25) සවස් වරුවේ කළුතර, වැලිපැන්න ප්‍රදේශයෙන් අතිශය කම්පිත පුවතක් වාර්තා වුණා.
අම්මයි, තාත්තයි එක්ක යතුරුපැදියෙන් ගිය අවුරුදු 3ක පුංචි දැරියකට මේ නත්තල අවසන් ගමන වෙයි කියලා කවුරුත් හිතන්න නැතුව ඇති.
අලුත්ගම - මතුගම මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී මතුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් ආපු කැබ් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් තමයි මේ දරුණු අනතුර වෙලා තියෙන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා, මව සහ කුඩා දියණිය වහාම දර්ගා නගරය රෝහලට ඇතුළත් කළත්, අවාසනාවන්ත ලෙස ඒ පුංචි දෝණිය රෝහලේදී ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මියගිය දියණිය මතුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3ක මල් කැකුළක්.
පියා සහ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර යවා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ද බරපතළ බවයි වාර්තා වෙන්නේ.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු මේ වන විට වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම නිසා තවත් එක අහිංසක ජීවිතයක් පාරේ බිලිවුණු මේ සිදුවීම ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

0 Comments