Ticker

6/recent/ticker-posts

මෙවැනි දුරකථන ඇමතුම් ලැබුණහොත් වහාම විසන්ධි කරන්න! පොලීසියෙන් වැදගත් දැනුම්දීමක්!


මේ දිනවල ජනතාවට ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.


එම නිවේදනය පහතින්.


ඔබගේ ආරක්ෂාව සහ මුදල් සුරක්ෂිතතාව වෙනුවෙන්, ශ්‍රී ලංකා පොලිසිය ජනතාව දැඩි ලෙස දැනුවත් කරයි. මෑතකදී, ඇතැම් වංචනික කණ්ඩායම් විසින් පොලිසියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ FCID හෝ බැංකු නිලධාරීන්ගේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවට වාර්තා වී ඇත.

මෙම වංචනිකයින්ගේ ක්‍රියාකාරී රටාව සලකා බලන විට, ඔවුන් මුලින්ම මුදල් විශුද්ධිකරණ පනත වැනි බරපතළ නීතිමය කාරණා භාවිතා කරමින් ඔබව අත්අඩංගුවට ගන්නා බවට හෝ නඩු පවරන බවට ක්ෂණිකව බිය ගන්වයි. ඔවුන් ඔබ දැනටමත් ලබා දී ඇති නම, හැඳුනුම්පත් අංකය, හෝ මෑතකාලීන ගනුදෙනු වැනි යම් ව්‍යාජ තොරතුරු කිහිපයක් භාවිතා කරමින් තමන් සැබෑ නිලධාරීන් බවට විශ්වාසය ඇති කිරීමට උත්සාහ කරයි.


ඔවුන්ගේ මීළඟ පියවර වන්නේ විමර්ශන ඉතා රහසිගත බව පවසමින්, ඔබේ පවුලේ සාමාජිකයන්ටවත් මේ පිළිබඳව නොකියන ලෙසට දැඩිව උපදෙස් දෙමින් රහසිගත බව ඉල්ලා සිටීමයි. විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා, ඔවුන් රාජකාරී ස්ථානයක් හෝ නිල ඇඳුමක් පෙන්වමින් Video Calls හරහා සම්බන්ධ වීමට උත්සාහ කරන අතර, අවසානයේදී ඔවුන් විමර්ශන කටයුතු සඳහා තහවුරු කිරීමක් ලෙස හෝ තාක්ෂණික ගැටලු නිරාකරණයට ලෙස පවසමින් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කරන ලෙස හෝ හුවමාරු කරන ලෙස ඉල්ලා සිටියි.

උදාහරණයක් ලෙස: වංචා කළ මුදලට සමාන මුදලක් රාජ්‍ය භාණ්ඩාගාර ගිණුමකට බැර කිරීම. මේ අතර සංවාදය අතරතුර, ඔවුන් ඔබේ අනෙකුත් බැංකු ගිණුම් තොරතුරු, රහස් අංක, හැඳුනුම්පතේ රූප වැනි සියුම් පුද්ගලික තොරතුරු විමර්ශනයට අවශ්‍ය බව පවසමින් ලබා ගැනීමට උත්සාහ කරයි.


ඔබට මෙවැනි ඇමතුමක් ලැබුණහොත් වහාම විසන්ධි කරන්න. කිසිම අවස්ථාවක නීතිමය හෝ මූල්‍ය ගැටලු විසඳීම සඳහා පොලිසිය හෝ රජයේ ආයතන දුරකථනයෙන් මුදල් ඉල්ලීම් සිදු නොකරයි. මුදල් ඉල්ලීමක් කළ වහාම එය වංචාවක් බවට සැක කරන්න. ඔබට අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් තිබේ නම්, එය දුරකථන ඇමතුමකින් නොව නිසි නීතිමය ක්‍රියා පටිපාටි ඔස්සේ ලියාපදිංචි ලිපියක් හෝ නිල සිතාසියක් මගින් දැනුම් දෙනු ඇත.


කිසිවිටක දුරකථනයෙන් රහස්‍ය තොරතුරු ලබා නොදෙන්න. ATM අංක, PIN අංක, ගිණුම් අංක, OTP, හැඳුනුම්පත් ඡායා පිටපත් ආදිය.තොරතුරු තහවුරු කරන්න. ඔබට සැක සහිත ඇමතුමක් ලැබුණහොත්, එම ඇමතුම විසන්ධි කර, ඔබගේ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ නිල දුරකථන අංකයකට ඇමතුමක් ගෙන සිද්ධිය සත්‍ය දැයි ස්වාධීනව තහවුරු කරගන්න. FCID හෝ CID නිලධාරියෙකු ලෙස හඳුන්වා දෙන්නේ නම්, ඔවුන් ලබා දෙන දුරකථන අංකය භාවිතා නොකර ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියෙන් නිල අංකය සොයා අමතන්න.


ඔබට මෙවැනි වංචනික ඇමතුමක් ලැබුණහොත් හැකි ඉක්මනින් එය ඔබගේ ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් වාර්තා කරන්න. එම වංචනිකයා සම්බන්ධ වූ දුරකථන අංක, ලැබුණු WhatsApp පණිවිඩ සහ වෙනත් ඕනෑම තොරතුරක් ඉදිරිපත් කරන්න.

ඔබගේ පුද්ගලික දත්තවල ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න අද වන විට බොහෝ වංචනිකයින්ට ඔබගේ නම, දුරකථන අංකය, සහ හැඳුනුම්පත් අංකය වැනි මූලික තොරතුරු පහසුවෙන් සොයාගත හැකිය. උදා සාප්පු සවාරි දිනුම් ඇදීම්, පුහුණු වැඩසටහන් ලියාපදිංචි කිරීම්, ආදිය. මෙම තොරතුරු ඔවුන් ඔබේ විශ්වාසය දිනා ගැනීමට පමණක් භාවිතා කරන බව මතක තබා ගන්න. ඕනෑම ස්ථානයක පුද්ගලික තොරතුරු විශේෂයෙන් හැඳුනුම්පත් අංකය ලබා දීමේදී දෙවරක් සිතන්න.


මතක තබා ගන්න ශ්‍රී ලංකා පොලිසිය හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දිගින් දිගටම ඇමතුම් ගනිමින් බිය ගන්වමින් හෝ මුදල් ඉල්ලමින් මහජනතාව සම්බන්ධ කර ගැනීමට වෙහෙසෙන්නේ නැත. එවැනි ඇමතුමක් සැමවිටම සැක සහිත විය යුතුය.

 

Post a Comment

0 Comments